“බලන මොටන අලගල්ල පැනලා සුද්ද මෙහාට එනවා බොරු“
ඉස්සර මිනිස්සු කියල තියෙන්නෙ අන්න එහෙමයි... ඉතින් අපි (මා ඇතුලු යාළුවො හතර දෙනෙක්) ගියා මේ අලගල්ල කන්ද තරණය කරන්න. මේ තියෙන්නේ ඒ ගැන සටහනක්.
අන්තර්ජාලයෙන් ඇවිදින්න පුලුවන් තැන් ගැන විස්තර හොයනකොට අහම්බෙන් හම්බුන තොරතුරක් තමයි මේ අලගල්ල. අලගල්ල කියන්නේ ඉස්සර සුද්ද මේ රට ආක්රමණය කරපු කාලේ උඩරට රාජධානියේ ආරක්ෂාවට තිබුනු මුර කපොල්ලක්. කෙ කඳු මුදුනට ගියාම ඒ බව නම් පැහැදිලි වෙනවා. හාත්පස සිසාර පේන සුන්දර දසුනින.
ගමන් විසතරය මෙහෙමයි.
අපි අලගල්ලට ලඟාවෙන් යොදාගත්තේ දුම්රිය. උදේ 5.20ට තිබුන දුම්රියෙන් මීරිගමින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ගිහින් පොල්ගහවෙල සිට පෙ.ව 6.00 නුවර බලා යන මනදගාමී දුම්රියෙන් ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානය දක්වා ගමන් කලා. ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානයට ලඟාවුනේ උදේ 7ට විතර. එතැන් සිට තියෙන්නෙ පයින් ගමනක්. අපිත් ඉතිං එතනින් එහාට යන පාරක් දැනං හිටියෙ නෑ. ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන තමා යන්න තියෙන්නේ.
හැම අවුරුද්දෙම පෙබරවාරි 4 වෙනිද නිදහස සමරන්න ගමේ මිනිස්සු මේ කඳූ මුදුනට යනවලු. හැබැයි මේ පාර නම් කට්ටිය ගිහිං නෑ. මොකද පේබරවාරි 4 වැස්සනේ.
යන ගමන්
ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් ලද තොරතුරුවලට අනුව ඒ අසලින් අපි ගමන් ඇරඹුවේමු. ගම වෙත දිවෙන මග ඔස්සේ ඉදිරියට ගමන් කිරීම එතරම් අපහසුවක් නොවේ.
ඉතින් මේ විදියට ගමන්කරපු අපි, ගම මැද්දෙන් පාර සොයන් යන අතරේ තේ වතු මැදින් යන පාර ගේක මිදුලකින් ඉවර වුනා. දැං ඉතින් අයෙ හැරෙන්නයැ. අහල පහල සෝදිසි කරල බලද්දි, කන්ද පැත්තට යන පොඩි අඩිපාරක් හම්බුනා. අයේ දෙකක් නෑ, මේ පාර කට්ටිය ගියෙත් නැති නිසා කැලෑවුනු පාර වෙන්නැති කියල අපි ඒ පාරෙන් ගමන්කරන්න පටන් ගත්තා. බැලින්නං ඒ කැලේට යන්න තියෙන පොඩි අඩි පාරක්.. කන්ද නගින පාර නෙමෙ....හැබැයි අපිට ආපහු හැරෙන්න විදියකුත් නෑ. වෙන කරන්න දේකුත් නැති නිසා අපි කැලේ මැදින් කන්ද පැත්තට නගිනන් පටං ගත්තා. මේ පේනවනේ හසරක් නැති කැලෑව.
පටන් ගත් තැන් සිට සතුරා කූඩැල්ලාය. මුන් නම් නිකම්ම නිකම් කූඩැල්ලන් නොව, මහ කුප්ප කූඩැල්ලන් ජාතියකි. පන්න පන්න පහර දෙනවාට අමතරව ඉහල සිටින සිය නෑ හිතමුතුරන්ටද පණිවුඩය දුන් සැටියකි.කෙසේ නමුත් කෑඩැල්ලත් සතෙක්ද 

පාර සෙයාගනු වස් යන යන තැන ගස් කොල අතු නවන්නට නම් අමතක කලේ නෑ ( ඊලඟ පාර මේ පාරෙන යන අයට උඩට එන්න පුලුවං ඒ මග ඔස්සේ)
කැලැව කපාගෙන කහඹිලිය ගාල් පීරගෙන කටු අතුවල ඇමීණිගෙන ගිය ඒ ගමන නම් අමතක නොවන අපූරු අත්දැකීම් රැසක් එක් කලා. අපි නියමිත මගින් ගමන් කලානම් ගමන මේ තරම් සුන්දර (අපේ වචනයෙන්ම් ආතල්) නොවෙන්න තිබුනා. දුෂ්කරතා මැඩගෙන ගියපු ගමන නිසාම අපේ යාළුවන්ටත් ගමන අපූරුවට අල්ලල ගියා (ගිය අය මේක දැක්කනං මාව කයි, එක්කන් ගියා කියල නම් මොකුත් තාම කිව්වෙ නෑ හිහ් )
ගමන දුෂ්කරයි, පොල්ලක් අතේ තියන් යන එක වඩා හොඳයි. හැබැයි සුන්දරයි. කැලෑව කියන්නෙ කොහොමත් බෝම සොඳුරු ඉසව්වක් නේ...
බහින එක නම් නගින කොට තරම්ම අමාරු නොවුනේ කඳූමුදුනට කිට්ටු වෙද්දි නියම පාර හමුවුනු නිසා.
මේ විදියට පාර හොයාගෙන කන්ද නැගපු අපිට, කදු මුදුන කිට්ටුවේ ගහක “මතු පරපුර උදෙසා තුරුලිය සුරකිමු“ ලෙස ලියු බෝඩ් එකක ගහල තියෙනව දැක්කම මාර සතුටක් දැනුනේ. මිනිස් පුලුටක් වත් අහල පහල නැති කැලේ බෝඩ් ගහල තියෙන්නේ පාරෙ වෙන මොකටද පාර සොයාගන්නත් ඕනි නිසානේ.
අලගල්ල කන්ද නගින්න තියෙන නියම පාරෙන් කඳු මුදුනට යාම එතරම්ම අපහසු නෑ. අඩිපාරක් නමුත් දුෂ්කර බව අඩුයි. නමුත් කූඩැල්ලන් නම් එමටයි.
ගමන පටන්ගනිත්දි වාරුවෙන්න පොල්ලක් සොයාගන්න එක හොඳයි. ඒ වගේම පාර හරියටම අසාගන්ත්තොතින් එතරම් අපහසු වෙන එකක් නෑ.
ගමනට හැකිතරම් වතුර බෝතග් එකතු කරගන්න එක නම් හොඳයි, මොකද කැලේ පීරගෙන යද්දි නම් වතුර ගන්න තැනක් නෑ. ආහාර විදියට අපි නම් පාන් සහ බිස්කට් අරං ගියා. ඒ වගේ සැහැල්ලු ආහාර අරං යන එක හොඳයි කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
ආපහු එන්නත් අපි නම් දුම්රියම යොදාගත්ත. මහමාර්ගය භාවිතාකරන කෙනෙකුට මාවනැල්ලට ගිහිං එතනින් ඉහලකෝට්ටෙ වෙත එන්න ඕනි. ආපසුත් ඒ මගම ගන්න පුලුවන්. අලගල්ලට දුම්රියෙන් යාම වඩාත් පහසුයි. නමුත් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ නවත්වන දුම්රියන් ප්රමාණය සීමිත නිසා ඒ පිළිබඳව දුම්රිය ස්ථානයෙන් දැනුවත්වීම වැදගත්. (අපිටනම් පොඩිමැණිකේ දුම්රිය, දුම්රිය හුවමාරුවක් නිසා ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානයේ නවැත්වීම ආපසු ගමනට ලොකු පහසුවක් වුනා)
ඉතින් ලංකාවෙ තවත් බලන්න නම් තැන් ඕනි තරම්. සොඳුරු ඉසව් කරා යන්න. ඒව නරඹන්න. හැබැයි ඡායාරූප සහ මතකය පමණක් රැගෙන එන්න. පියසටහන් විතරක් ඉතුරු කරල එන්න.
“පරිසරය සුන්දරයි-රැකගැනුම යුතුකමයි“