Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Thursday, May 19, 2016

වියරු සොබාදහම

මේ ව්‍යසනයට හුදෙක් සොබා දහම පළි නැත. මේ ව්‍යසනය හුදෙක් මානව අකටයුතුකම් වල අතුරු ප්‍රථිපලයකි. ලක් දෙරණේ පියස්ස බඳු වූ කඳුකරයේ වන වැස්ම කපා අක්‍රමවත් වගාවන් සිදු කිරීමෙන් නොනැවතී පහත් වගුරු බිම් ගොඩ කර සංවර්ධනයේ නාමයෙන් සොබාදහමට සිදුකරන කෙනෙහිලිකම් තව දුරටත් ඉවසිය නුහුනු තැන සොබා දම් මාතාවට සිය දුක්ඛ දෝමනස්සය මෙලේස හඬා වැලපෙමින් පිට කරන්නට සිදුවෙයි. ඉතින් සහෘදය අප විසින් අපේ සොබාදම් මාතාව කෙලෙසා කවර නම් සුගතියක් ලබම්ද.......
තද හිරු රැස් ඇති සමයේ හිරුට දෙස් තැබීමෙන්ද
තද වැසි සමයේ වැස්සට ගැරහීමෙන්ද පලක් නැත
හැකි අයුරින් සොබා දම් මාතාව සුරකින්න එක්වෙන්න... ඒ අපේ ජීවනාලයියයි. ඒ අපේ හද ගැස්මයි....

මට තියනවා හීනයක්, කවදහරි කඳුකෙරයෙන් තේ ඉඩමක් මිලට ගෙන වනාන්තරයක් වවන්න. නමුත් තාම මම ඒ  හීනෙට  පුංචි වැඩියි. ඒක තාම හීනයක්ම විතරයි... 

Saturday, February 16, 2013

සරසවිය නිමවිය!

ඉතින් විදුලකර මාතාවෙනි ඔබට ආයුබොවන්!!!

මේ ලිපිය බොහෝම කාලෙකට පස්සෙ ලියන්න ගත්තෙ අද මේක නොලිව්වොත් මගේ බ්ලොග් එකේ විශාල අඩුවක් වෙන නිසා... අද මම මේ ලිපිය ලිවිය යුතුමයි...
ඔබට මතක ඇතුවාද දන්නෑ මම වසර තුනකට පමණ පෙර මේ බ්ලොග් එකේ පල කල ලිපියක්... අමතක නම් හෝ කියවා නැතිනම් මෙතනින් පිවිසෙන්න...

මම අද (2013/02/16) ගැන කියන්නම්. අද මට මගේ ජීවිතේ වටිනා දවසක්. ඔව් ඇත්ත. ඒ අද අන්තිම දවසක් නිසා. මගේ විශ්වවිද්‍යාල ජීවිතේ මම ගත කළ අන්තිම දවස.... 
නෑ මම ආය විශ්වවිද්‍යාලය පැත්තෙවත් යන්නෑ නෙමෙයි.... නමුත් නිල වශයෙන් මම විශ්වවිද්‍යාලයේ සිටිය අන්තිම දවස අද.

විවිධ අත්දැකීම්, බාධක, ප්‍රහසන, විනෝදය, අමන්දානන්දය..... එකී මෙකී නොකී සියලු අත්දැකීම් කැටිකරගත්තා වූ විදුපියසේ ජීවිතයට සමුදෙන මොහොතේ මම විදුපියසින් ලද දේ ගැන පැවසිය යුතුමයි.

එදා කැළණිය කන්ද නැගගෙන බයෙන් බයෙන් කැම්පස් එකට ගිය පොඩි ගැටව් මෙදා පිරිපුන් මනුෂ්‍යන්ව කන්ද බහින්නෙ හද පිරි ශෝකයද කැටිකරගෙන... 


මට මේ දැනෙන දේ ඔබට හඟවන්න වදන් නෑ. කොතරම් නම් දේ මම ලැබුවද මේ විදුපියසින්. කොතරම් නම් මිතුරන් හමුවුනාද මේ විදුපියසින්. වරෙක මට මතකයි මම මේ විදුපියසේ අධ්‍යාපනයට තරයේ විරෝධය පෑවා. කොටිම්ම ඒ කාලයේ මෙහි අධ්‍යාපනය මට වහ කදුරු මෙන් තිත්තව පැවතියා. එකල මට ඕනැ වුනේ විදුපියසින් ඉක්මනින් නික්මෙන්නට. නමුත් අද... අද මට හැකි නම් තවත් කාලයක් මේ විදුලකර විදුපියසේ විද්‍යාර්‍ථියෙක් වෙන්න...

 තල්වැට 

විශ්වවිද්‍යාලයේ ගිය බොහොදෙනෙකුට මෙන් මට නම් මගේ පෙම්වතිය විශ්වවිද්‍යාලයෙන් සොයාගන්නට බැරි වුනා. වසර තුනක් තිස්සේ ගියා ආවත් හැමදාම කන්ද නැග්ගෙත් බැස්සෙත් තනිවමයි. නමුත් විදුපියසේ සිටින තාක්කල් මට විවිධාකාරයේ මිනිසුන් මුනගැසුනා, දැනහඳුනාගත්තා, කතාබහ කලා, අදහස් උදහස් සමග කටයුතුකලා... ඉතින් ඒ මදිද පිරිපුන් අද්දැකීමකට... 

එදා අපිව පිලිගත්තු අයියල අක්කල අද අපේ ලඟම ඥාතිවරු වගේ.. අනේ උන් නම් අපිට කිසි කරදරයක් හිරි හැරයක් කලේ නෑ... උඹල බයවෙන්න එපා, විදුලකර විදුපියසේ විද්‍යාපීඨය හැම අතින්ම හොඳින් පැවතියා...
(අද සහ හෙට විද්‍යාපීඨය ගැන මම කිසිවක් නොකියමි.) අපේ ජේෂ්ඨයෝ හිත හොඳ මිනිස්සු... ඒ අයියල අක්කල අපිට මග පෙන්නුවා... පාසලකට වඩා වෙනස්වූ අලුත් ජීවන සංස්කෘතියක් තුල ජීවත්වෙන්න අපිට උර දුන්නා.

ඉතිං අපිත් එලෙසම අපේ බාල පරම්පරාවට උර දුන්නා... ඉතිං අපි බලාපොරොත්තු වෙනවා ඒ අයත් තමන්ගෙ සහෝදර නංගිල මල්ලිටත් උරදේවි කියා... 

රැග් එක?? බයවෙන්න එපා බං. මෙහේ එහෙම එකක් නෑ. මොකද්ද උඹල රැග් එක කියන්නෙ? උඹල මරන්න හදන කවුරුත් මෙහේ නෑ. ඒ උඹල අදුරගන්න, උඹලටම උඹල හඳුන්නල දෙන සොඳුරුතම කාලපරිච්ඡේදයක් විතරයි.....

කොච්චර දේවල් කියන්න ඕන වුනත් මට ලියවෙන්නෑ....
විශ්වවිද්‍යාලයෙන් ලබන අද්දැකීම් නම් ජීවිතයක් තුල ලැබිය යුතුමයි මම අද අදහස් කරන්නෙ එහි ඵල මම නෙලා ගත් නිසා... උපාධිය විශ්වවිද්‍යාලයෙන් ලැබෙන එකම ප්‍රධාන දේ නොවෙයි. විශ්වවිද්‍යාලයෙන් ජීවිතයට ලැබෙන්නේ ඊට එහාගිය දෙයක්.... වචනයේ පරිසමාප්තියෙන්ම පරිපූර්ණ සමාජීය වටපිටාවක්. එහි උගතුන්/බුද්ධිමතුන් හැමවිටම හැමතැනම නෑ. නමුත් මිනිසුන්, මනුස්සකම දත් මිනිසුන් ඉන්නවා... ඉතින් එන්න, මේ දේවල් නිදහස් අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනය ලබන්නට වරම් ලබන විසිදහසක පමණ වූ ඔබට පමණමයි... උපාධිනම් හෑම තැනකින්ම ගනිතත්, විදුපියසක සැබෑම අත්දැකීම් කැටිකරගන්නට නම් මෙහි පැමිණිය යුතුමයි.!!!! 

යලි මම විදුපියසට පැමිනේවි, කොතෙකුත් වරක් පැමිණේවි... ඒත් කෝ අපේ බැචාල බැචීලා?? කෝ දෙයියනේ මෙතන හිටපු එකට බුලකෙලපු, හාල් වුනු, පිස්සුකෙලපු, හොර අත්සං ගහපු, කට්ටිපැනපු, කුප්පිදාපු, නාට්‍ය වල හූ කියපු,................... උං... කෝ???


Tuesday, November 6, 2012

හිඟන්නා




ගිනියම් වෙච්ච මහපොළවමත
මහ දවාලක කඩමාල්ලක දවටාගෙන
මහපාරේ අව්වට පිච්චෙන්නේ
ආසාවට නෙමෙයි
ගෙයක් දොරක් නැතිකමටමත් නෙමෙයි
දවාලියෙන් කඩිමුඩියෙ සතයක් දෙකක් අතගෑවෙ නැත්තම්
බඩගින්නෙ මියැදෙන්න වෙන නිසා
-- අපට කොයිනද වායුසමනය කරපු මංමාවත් හිඟා කන්න...

Thursday, July 5, 2012

මැණිකෙ



මා හද බැදි නුඹෙ රුව
ඈත එපිටින් මතුව විට
කීරි ගැහෙන මගේ සිත
ආදරෙයි කියයි මැණිකෙට මම....

ඈත දීම සවන් වැකුනු 
නුඹෙ සුමිහිරි නද
පසක් කරවයි මා නුඹ සමග බව....

කඳුකරේ සිරියාවි නුඹ
වනගොමු මැදින් යන සඳ‍
පැද්දෙන ගැස්සෙන ඉඟ සුඟ
මිටින් ගත නොහේ මා හට

පෙම් බදිමි මා නුඹට....
උඩරට පොඩි ටිකිරි සේරමට
කොලොම්පුරෙන් ආ නුඹ
බදුලු ගමනේ මගේ කුමරිය.... 

Thursday, April 12, 2012

ගණිතය විරහ වුන මම.....


සංඛ්‍යාරේඛාවෙ සිට
ද්විමාන කාටිසියානු තලය හරහා
ත්‍රිමානය දක්වා පැමිණි 
නුඹෙත් මගේත් ආලයට
නව මානයක් සොයා යන්නට කාලය ඇවිත්.... 

අනන්තයේ අපිරිමිත රේඛා වල සිට
වර්ථමානයේ සමුද්දේශය හරහා
අනාගතයේ සාපේක්ෂතාව සොයා යන්නට
නොහැකි මන්දැයි ඇසු විට
පිළිතුර නුඹ තවම සෘජුකෝනාශ්‍රයක හිරවීම බව
පසක් වුනි මට.... මගේ නිරපේක්ෂ මනසට..... 

ද්විමාන තලයේන් 
ත්‍රමාණතලයට වැටි 
ගණිතය විරහ වුන මම.....

Saturday, April 7, 2012

මගේ කෝච්චි කතාව මෙහෙමයි.


අඟූරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා...
දැන් අය නං ඩීසල් විතරයි බොන්නෙ

මං ඉපදුනේ කොටගල. අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපති වරයෙක්. ඒ නිසා තාත්තා නිතර විවිධ දුම්රිය ස්ථාන වලට මාරුවීම් ලැබුනා. ඒ නිසා මං බොහෝවිට ගතකලෙත් දුම්රිය නිල නිවාස වලමයි. කොහොමිං කොහොම හරි මං යංතං දනිපනිගාල ඇවිදින කාලෙ ඉඳං ස්ටේසමට යන්න තියන්නෙ පුදුම ආසාවක්. බොහො විට තාත්තගෙ අතේ එල්ලිලා ස්ටේසමේ රවුම් ගහන එක මගේ පුරුද්ද. පොඩි කාලේ ඉඳංම බස්වල යන්න දැඩි ලෙස අප්‍රිය කරපු මම කොච්චියට නිතැනින්ම ආදරේ කලා.
තනිමාර්ගයේ දුම්රිය ධාවනයේදි භාවිතාවන සඥ්ඥා කුලුණක් 

තාත්තා බොහො කාලයක් සේවය කලේ උඩරට. තලවකැලේ, රොසැල්ල, හැටන්.... ඒ නිසාම මගෙත් ජීවිතේ සුන්දරම ළමාකාලේ සුන්දරම අත්දැකීම් එකතු වුනේ කෝච්චිත් එක්ක.

ඒ දවස් වල තාත්තා වැඩකරන වෙලේට මම ස්ටේෂන් එකේ හිටියොත්, හවස බඩුකෝච්චිය බැරිවෙලාවත් ෂන්ටින් කලොත් මට ඕනැ ඒ එන්ජිමෙ රවුමක් යන්න. හහ් හා... ඉතිං M6, W1, එන්ජින් පොඩිකාලෙ හරි හරියට එලෝල තියේ මං..... :P ඇංජිමේ ඩැයිවර් අංකල මට දෙනවා එයාගේ සීට් එක. මං පොඩි එකානේ.... ඒ නිසා වෙන්ටැති. මට තියන්නෙ අංකල් කියපුවාම හෝන් එක ගහන්න.... හරිම ජොලිවැඩේ ඒක...

ඊ ලඟට කැබින් එක. ස්ටේෂන් එක අවට තියන දුම්රිය සඥ්ඥා පද්ධතිය හසුරවන්නෙ එතනින්. ඒකට නං නිතර දෙවේලෙ යනවා. ඒකෙ තියන ඒව ඒ අංකල් කෝම අදිනවද මංද.... මට නං ඇදගන්න බෑ හරි තදයිනේ.... :P පොඩි එකා සන්ධියේ අඟේම වීරිය දාල ඇද්දත් කවදාවත් අඟලක්වත් ඒව හොල්ලගන්න බැරි වුනා... :D

මේ තියන්නෙ ටැබ්ලට් මැෂිමක්.
මේ ඉන්නෙ අපේ තාත්තා නං නෙමෙයි,
තාත්ත එක්ක හැටන් වල වැඩකරපු මාම කෙනෙක්.
පින්තූරෙ ගත්තෙ YY එකෙ සෙට් එකත් එක්ක කඩුගන්නාවෙ රේල් හයික් ගිහින්....

තවත් ෂෝක්ම වැඩේ තමයි තාත්ත ටැබ්ලට් එක අරං ආපුවාම උඩින් ටැබ්ලට් පෙත්ත මැෂිමට දාන වැඩේ.
ටැබ්ලට් මැෂිමේ යට තියන ලොකු ප්ලේට් එක ලොකු අයට අදින්නලු.උඩ තියන පොඩි එක තියන්නෙ මං වගේ පොඩි අයට සෙල්ලං කරන්න :P  හැබැයි. ටැබ්ලට් එක අරං ආපු වෙලේට විතරයි ඕකට දාල ඇතුලට තල්ලු කරන්න හම්බුවෙන්නෙ.... ෂා... පිංකැටේකට කාසියක් දැම්මවගේ නැවුම් හඬක් නංවමින් ටැබ්ලට් පෙත්ත ඇතුලට වැටෙනවා.... ඒ රතුපාට ටැබ්ලට් මැෂින් පෙට්ටියට මං තාම ආදරෙයි.....
ඊ ලඟට ඒ මැෂිම ලඟ තියන ලොකු බෙල් එකයි පොඩි බෙල් එකයි. සද්ද දෙකක්. මට හරි ප්‍රශ්නයක් ඇයි මේ සද්ද දෙකක් එන්න බෙල් දෙකක් මෙතන.....
පස්සෙනෙ දන්නෙ එකක් එක මැෂිමකට අනික අනිත් එකට. වෙන වෙනම අඳුනගන්න තමයි ටැබ්ලට් මැෂින් දෙකේ බෙල් දෙක සද්ද දෙකකින් තියන්නෙ....
ආ අමතක වෙනව තව පොඩ්ඩෙන් එතන තියනව හරි අපූරු දුරකථනයක්. උස කනුවක ගහල තියන්නෙ. කනේ තියාගන්න කොටස අතට ගන්නෝන. හිහ්. අපේ තාත්ත ඕකෙන් කාටද කතා කොරනව හැම තිස්සෙම.... නිතරම අර බෙල් එකක් වැදුනම. හිහ් හිහ්....

මං දෙක වසරෙදි, අපේ ස්කොලෙ සෙට් එකත් එක්ක ගියා කොහොමද කොච්චි දුවන්නෙ කියල බලන්න. අනේ උං හුග දෙනෙක් අඩු ගානෙ කොච්චියක් දැකලවත් නැතිලු. හහ් මම තමයි පොර එතන. මං උපන්දා ඉදල කොච්චි වල නෙ. පංතියෙ හිටපු කොල්ලොන්ට අර මැෂිමෙ වැඩ කිඩ ටික කියල දුන්නෙ මං.... දෙක වසරට එද්දි මං ඒ මැෂිමෙං වෙන්නෙ මොකද්ද කියන එක ගැන සෑහෙන අවබෝධයක් ලබල තිබුනෙ.... :D
ඒ කොටගල ස්ටේෂන් එකේ. තාත්ත එතන නෙවෙයි වැඩ කලේ. හබැයි වැඩකරපු අය දන්නව මං ගැන හිහ්....

පස්සෙ කාලෙක තාත්තා පොල්ගහවෙල වැඩ කලා. එහෙන් මරු ගැජමැටික් ටිකක් හම්බුනා බලාගන්න. පරන මෝස්කොඩ් සිස්ටම් එකේ කැලි බෑලි වගයක්....
මරදානෙ RTO එකෙත් වැඩකලා. ඒකෙනං ඇති වැඩක් නැ කියලයි මට හිතුනෙ... කෝච්චි පේන්නෙත් නෑ ලොකු තාප්පයක් ගහල. අර ටැබ්ලට් මැෂිනුත් නෑ... :(
ටෙලිපෝන් ටිකක් විතරයි. තාත්තා වැඩකල තැන් වලිං මං අකමැතිම එතනට... :D (අනිත් හැමතැනක්ම ස්ටේෂන්)

M6 783 සිංහ කට ලඟ
කඩුගන්නාව-බලන අතර

දැනුත් මං කෝච්චියට කැමති වෙන කිසිම වාහනේකට වඩා....

Monday, November 29, 2010

බාගෙට පිරුන වතුර වීදුරුව


බලන්න පින්තූරය දිහා...
හොඳට බලන්න...
මොනවද ඔබට පේන්නේ???
වතුර වීදුරුවක්...
නිකම්ම නිකම් වතුර වීදුරුවක්ද???
නෑ...
එහෙනම්???
බාගයක් පිරුන වතුර වීදුරුක්...
ඇයි, බාගයක් හිස් වතුර වීදුරුවක් පේන්නෙ නැද්ද???
පේනව හැබැයි දකින්නේ නෑ...

ඇත්ත. ඒත් කෙනෙක් බාගෙට හිස් වතුර වීදුරුවක් දකින්න පුලුවන්. අපි දකින විදිය එකිනෙකාට වෙනස්. එකම දේ විවිධ විදියට දකිනවා. ඉතිං හිතන්න. අපි දකින විදියටම නෙමේ හැමෝම දකින්නේ. ඒකට ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. එහෙම නේද...

Tuesday, August 10, 2010

සිතාගත නොහැකි ජීවිතය...



ළඟ එන කුනාටුවක සේයාවක්ද
නැතිනම් සැන්දෑ ඉර බසිනා සනුදර දසුනක්ද
සිතාගනු නුහුණු දසුනින් මුසපත් වූ ඔහු
තනිවම එහෙත් ඈත එපිට කෙලවරක් දිහා බලා සිටී

ඇත්තෙන්ම එය කෙලවර වේද
ජීවිතයත් ඒ වගේ...
විටෙක කුනාටුවලට හසුව ගසාගෙන යයි
විටෙක සුන්දර දසුන් මවයි
එහෙත් ජීවිතය තවමත් ජීවත් වේ.... 
මරණය පැමිනෙණ තුරා ඔහු ජීවත් වේ....
තනිවම අපුරු සිතැඟියාවන්ගෙන් පිරී ඔහු තවමත් ජීවත් වේ.....


Sunday, July 25, 2010

සිතට දැනුන සිතුවිල්ලක්


සෑහෙන කාලෙකට පස්සෙ... හරියට මේ මාසෙ පොස්ට් එක දාල යන්න ආවා.

මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.

ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඔක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.

ආදරය කියන හැඟීමට විවිධාකාර පැතිකඩ තියෙනවානෙ. උදාහරණයක් විදියට, අම්ම දරුවන්ට දක්වන ආදරය, තාත්තගෙ ආදරය, කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇතිවන ආදරය.... ඔය යනාධි වශයෙන්.
ඉතිං හුඟාක් අය ආදරය යටතේ කතා බහ කරන්නෙ වැඩිපුරම ‍මං අන්තිමට කියපු කෙල්ලො කොල්ලො අතර සිදුවන ආදරය ගැන.

ආදරය කියන්නෙ මිනිස් හැඟීමක් නිසා ඒක මිනිසාට අවශ්‍යයි. ඇත්තටම කිවුවොත් මිනිසාට පමණක් සීමා නොවුණ හැම ජීවියෙක්ම සතුවන විශ්වීය හැඟීමක් කියන එක තමයි වඩාත් නිවැරදි.

කෙනෙක් ජීවිතයට ආදරය අවශ්‍යද කියල ඇහුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර? නිසැකවම 'ඔවු' එහෙම නේද.. කීප දෙනෙකුට 'නෑ' වෙන්නත් පුලුවන්. හැබැයි ඒ අයත් ජීවිතයෙ කාගෙන්ම හරි ආදරයක් ලබල ඇති.

දෙමාපියන් තමන්ගෙ දරුවන්ට දක්වන ආදරයත් තරුණ කාලෙට ඇතිවන ආදරයයි අතර වෙනසක් තියෙනවා.

තරුණ වියේදි අපි ආදරය හොයා යනවද? නැත්තම් ආදරය අපිව හොයාගෙන එනවද? කිවුවත් වගෙ ''මේක වයසෙ වැරැද්දක්ද.'' පුංචි කාලෙදි මේ හැඟිම ගැන ලොකු වැටහීමක් නෑනෙ. ඉතිං අපිට කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ. ඒත් ටික ටික ලොකුවෙද්දි අපි විවිධ දේවලට ආදරේ කරන්න ගන්නවා, හුදෙක් එක ආලයක්. ඒ කියන්නේ ඒ දේවල් තමංගෙ කර ගන්න දක්වන ආශාවක්.. ඔන්න ඔය විදියට ඇරඹෙන ආදරය අන්තිමට විරුද්ධ ලිංගික පාර්ශවය කෙරෙහි යොමුවෙන්නේ ස්වාභාවිකව.

ඒ හැඟීම නියමාකාරව විස්තර කරන්න පුලුවන්ද? මට නම් බෑ.

එක එක අයව දැකල දැකල අන්තිම ඇහැ විශෙෂ කෙනෙක් එක්ක නතර වෙන්නෙ... නොදැනුවත්වමද...
නිතර එ කෙනාව දකින්න මුලින් ඇතිවන ආශාව... එතන ඉඳල විවිධ දේවල්......

අපි හැඟීම් පාලනය කළ යුතුද? මගේ තීරණය නම් ඔවු. අපිට බැහැ දකින දකින දේට ආදරය කරන්න. ආදරය කරන්න ගියාම ඒ දෙයට ඇතිවන ආශාව හමුවෙ 'නැතිවීම' දුකක් වන තැනට පත් වෙනවා. ඉතිං හමදේම නැති නොවුනට හැමදේම පවතින්නෙත් නෑනෙ. ආදරයත් ඒ වගේ කියලයි මට නම් හිතෙන්නෙ.

Friday, June 4, 2010

කෘතීම ජීවිතය

     සිතුවිලි අකල් මරණයකට ගොදුරු විය. සිතන්නට ඉඩ හසරක් නොවූ මනස යාන්ත්‍රික විය. මා හඹාගිය ජීවිතය මා පසුපස හඹා එන්නට විය. පරක් තෙරක් නොමැති දිවි සයුර මැද කුඹ ගසද හබල් ද අහිමි ජීව නෞකාව තනිවිය. දටු කිසිවක් එහි නොවුනි. අවසානයේ සියල්ල සිහිනයක් විය. මවාගත් ලොවක් විය. 

පිවිසුනෙමි වර්තමානයට
විවර කලෙමි වසාගෙන සිටි දෑස 
අවසන් කලෙමි දුටු සිහිනය

පැවසුවා වුවද නොදුටු බව සිහිනයක්, සිතා සිටියා වුවද නොරැවටුන බව තමන්, සිදුව තිබුනේ එයම නොවේද...

බලව දෑස් හැර, අවට ඇතිදැයි කිසිත්
ඇත ඒ සිහිනයෙන් දුටු දේ නොව, අන් යමකි
පලක් ඇත්දැයි නොවැටහෙන යමකි

සුන්දරත්වය, සතුට, කොහිද ජීවිතයට ඇත්තේ? ‍නොතේරෙන නුමුදු දුක් ගැහැටින් පිරි ඉතිරුනු ජීවිතයකි ඇත්තේ...

සිනහව බලෙන් ඔබ්බවන ලද්දකි, ප්‍රිය වචනය තියුණු තුඩකින් කැටයම් කරන ලද්දකි, පාට තීන්තෙන් සායම් කරන ලද දැඩි සේ කෘතීමකරණය වූ යමකි ජීවිතය...

සපල බලාපොරොත්තු, ස්වාභාවිකත්වය, නිර්මාණශීලීත්වය යි අහිමි ජීවිතයට සදාකල්හිම...

එසේනම් කුමටද මේ කෘතීම ජීවිතය???