Tuesday, November 6, 2012

හිඟන්නා




ගිනියම් වෙච්ච මහපොළවමත
මහ දවාලක කඩමාල්ලක දවටාගෙන
මහපාරේ අව්වට පිච්චෙන්නේ
ආසාවට නෙමෙයි
ගෙයක් දොරක් නැතිකමටමත් නෙමෙයි
දවාලියෙන් කඩිමුඩියෙ සතයක් දෙකක් අතගෑවෙ නැත්තම්
බඩගින්නෙ මියැදෙන්න වෙන නිසා
-- අපට කොයිනද වායුසමනය කරපු මංමාවත් හිඟා කන්න...

Thursday, July 5, 2012

මැණිකෙ



මා හද බැදි නුඹෙ රුව
ඈත එපිටින් මතුව විට
කීරි ගැහෙන මගේ සිත
ආදරෙයි කියයි මැණිකෙට මම....

ඈත දීම සවන් වැකුනු 
නුඹෙ සුමිහිරි නද
පසක් කරවයි මා නුඹ සමග බව....

කඳුකරේ සිරියාවි නුඹ
වනගොමු මැදින් යන සඳ‍
පැද්දෙන ගැස්සෙන ඉඟ සුඟ
මිටින් ගත නොහේ මා හට

පෙම් බදිමි මා නුඹට....
උඩරට පොඩි ටිකිරි සේරමට
කොලොම්පුරෙන් ආ නුඹ
බදුලු ගමනේ මගේ කුමරිය.... 

Friday, May 11, 2012

උබුන්ටු 12.4 මත සිංහල ස්ථාපනය (How to install sinhala on Ubuntu 12.4)


කාලෙකට පස්සෙ ඔන්න තාක්ෂණික ලිපියක් සමග ආව.

උබුන්ටු මත සිංහල ස්ථාපනය කර ගැනීම.  මේක සමාන්‍ය කාරණයක්. උබුන්ටු භාවිතා කරන හුගක් අය මේ ගැන දන්නවා. හැම උබුන්ටු සංස්කරණයකදිම වගේ අලුත්ම උබුන්ටු සංස්කරණය වන උබුන්ටු 12.4 සංස්කරණයෙදීත් සිංහල යුනිකේත පද්ධතිය සමගම ලැබෙනව. නමුත් උබුන්ටු මතදි යුනිකේත භාවිතයෙන් යතුරුලියනය සදහ iBus configure කරගන්න ඕන. සාමාන්‍ය විදියට අලුතින් භාෂාවක් එකතු කරගන්න බැලුවොත් චීන භාෂාව විතරක් එකතු කරගන්න පුලුවන් කියල දිස් වේවි. නමුත් අපිට සිංහලෙන් ලියන්න කියන්න නේ ඕනෙ. ඒක කරන්නෙ මෙහෙමයි.

පියවර 1:  root/superuser account එකට ලොග් වීම.

මේ පියවර වැදගත්. සාමාන්‍ය දන්න ක්‍රමේට, එහෙම නැත්තම්, වෙබ් අඩවි වලින් දීල තියන විදියට ටර්මිනල් කොඩ් එක දුන්න හැටිය මෙහෙම පෙන්වනව නේ.

එතකොට නම් ටිකක් තරහ යනව නේ.  ;)
තරහ ගන්න කාරි නෑ. ඒක කරන්නෙ මෙහෙමයි.




මුලින්ම root එකවුන්ට් එක ඇක්ටිව් කරගන්න.
ඒ සදහා sudo passwd root ලෙස ටර්මිනල් වින්ඩෝවෙ ටයිප් කරන්න. එවිට පහත පරිදි පයවර කීපයකින් root account එක ඇක්ටිව් කරගත හැක.





හරි ඒ කොටස සාර්ථකව නිමකරගත් ඔබ දැන් ටර්මිනලයෙන් root එකවුන්ට් එකට ලොග් විය යුතුයි. මේ සදහා su යන විධානය භාවිතා කරන්න. එවිට පහත ආකාරයට ඔබ root වෙත ලොග් වනු ඇත.






පියවර 2: ස්ථාපනය කිරීම
පළමු පියවර සාර්ථකව නිම කල ඔබට දැන් සාමාන්‍ය ආකාරයටම iBus සකසා ගත හැක.

  • As root/superuser, run:
    apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib 
    language-pack-si-base
  • From your user account (i.e. not root) run:
    rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s ibus
  • Logout and login again. Environment variables need to be set/updated (NO NEED TO REBOOT)
  • From your user account (i.e. not root) select your keyboard layouts by running:
    ibus-setup


ඉහත පියවර සම්පූර්න රීමෙන් පසු ibus preference වෙත ගොස් සිංහල භාෂාව input method එකක් ලෙස එකතු කරගන්න.













මෙසේ සිංහල භාෂාව එකතු කරීමෙන් පසු ctrl+space මගින් ඔබට භාෂාව මාරුකරගත හැක. අවශ්‍ය නම් ඒ යතුරු සබදතාවද මෙමගින් වෙනස් කරගත හැක.

එසේ නම් උබුන්ටු මත සිංහලේන් ලියන ඔබට ජය.....

Thursday, April 12, 2012

ගණිතය විරහ වුන මම.....


සංඛ්‍යාරේඛාවෙ සිට
ද්විමාන කාටිසියානු තලය හරහා
ත්‍රිමානය දක්වා පැමිණි 
නුඹෙත් මගේත් ආලයට
නව මානයක් සොයා යන්නට කාලය ඇවිත්.... 

අනන්තයේ අපිරිමිත රේඛා වල සිට
වර්ථමානයේ සමුද්දේශය හරහා
අනාගතයේ සාපේක්ෂතාව සොයා යන්නට
නොහැකි මන්දැයි ඇසු විට
පිළිතුර නුඹ තවම සෘජුකෝනාශ්‍රයක හිරවීම බව
පසක් වුනි මට.... මගේ නිරපේක්ෂ මනසට..... 

ද්විමාන තලයේන් 
ත්‍රමාණතලයට වැටි 
ගණිතය විරහ වුන මම.....

Saturday, April 7, 2012

මගේ කෝච්චි කතාව මෙහෙමයි.


අඟූරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා...
දැන් අය නං ඩීසල් විතරයි බොන්නෙ

මං ඉපදුනේ කොටගල. අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපති වරයෙක්. ඒ නිසා තාත්තා නිතර විවිධ දුම්රිය ස්ථාන වලට මාරුවීම් ලැබුනා. ඒ නිසා මං බොහෝවිට ගතකලෙත් දුම්රිය නිල නිවාස වලමයි. කොහොමිං කොහොම හරි මං යංතං දනිපනිගාල ඇවිදින කාලෙ ඉඳං ස්ටේසමට යන්න තියන්නෙ පුදුම ආසාවක්. බොහො විට තාත්තගෙ අතේ එල්ලිලා ස්ටේසමේ රවුම් ගහන එක මගේ පුරුද්ද. පොඩි කාලේ ඉඳංම බස්වල යන්න දැඩි ලෙස අප්‍රිය කරපු මම කොච්චියට නිතැනින්ම ආදරේ කලා.
තනිමාර්ගයේ දුම්රිය ධාවනයේදි භාවිතාවන සඥ්ඥා කුලුණක් 

තාත්තා බොහො කාලයක් සේවය කලේ උඩරට. තලවකැලේ, රොසැල්ල, හැටන්.... ඒ නිසාම මගෙත් ජීවිතේ සුන්දරම ළමාකාලේ සුන්දරම අත්දැකීම් එකතු වුනේ කෝච්චිත් එක්ක.

ඒ දවස් වල තාත්තා වැඩකරන වෙලේට මම ස්ටේෂන් එකේ හිටියොත්, හවස බඩුකෝච්චිය බැරිවෙලාවත් ෂන්ටින් කලොත් මට ඕනැ ඒ එන්ජිමෙ රවුමක් යන්න. හහ් හා... ඉතිං M6, W1, එන්ජින් පොඩිකාලෙ හරි හරියට එලෝල තියේ මං..... :P ඇංජිමේ ඩැයිවර් අංකල මට දෙනවා එයාගේ සීට් එක. මං පොඩි එකානේ.... ඒ නිසා වෙන්ටැති. මට තියන්නෙ අංකල් කියපුවාම හෝන් එක ගහන්න.... හරිම ජොලිවැඩේ ඒක...

ඊ ලඟට කැබින් එක. ස්ටේෂන් එක අවට තියන දුම්රිය සඥ්ඥා පද්ධතිය හසුරවන්නෙ එතනින්. ඒකට නං නිතර දෙවේලෙ යනවා. ඒකෙ තියන ඒව ඒ අංකල් කෝම අදිනවද මංද.... මට නං ඇදගන්න බෑ හරි තදයිනේ.... :P පොඩි එකා සන්ධියේ අඟේම වීරිය දාල ඇද්දත් කවදාවත් අඟලක්වත් ඒව හොල්ලගන්න බැරි වුනා... :D

මේ තියන්නෙ ටැබ්ලට් මැෂිමක්.
මේ ඉන්නෙ අපේ තාත්තා නං නෙමෙයි,
තාත්ත එක්ක හැටන් වල වැඩකරපු මාම කෙනෙක්.
පින්තූරෙ ගත්තෙ YY එකෙ සෙට් එකත් එක්ක කඩුගන්නාවෙ රේල් හයික් ගිහින්....

තවත් ෂෝක්ම වැඩේ තමයි තාත්ත ටැබ්ලට් එක අරං ආපුවාම උඩින් ටැබ්ලට් පෙත්ත මැෂිමට දාන වැඩේ.
ටැබ්ලට් මැෂිමේ යට තියන ලොකු ප්ලේට් එක ලොකු අයට අදින්නලු.උඩ තියන පොඩි එක තියන්නෙ මං වගේ පොඩි අයට සෙල්ලං කරන්න :P  හැබැයි. ටැබ්ලට් එක අරං ආපු වෙලේට විතරයි ඕකට දාල ඇතුලට තල්ලු කරන්න හම්බුවෙන්නෙ.... ෂා... පිංකැටේකට කාසියක් දැම්මවගේ නැවුම් හඬක් නංවමින් ටැබ්ලට් පෙත්ත ඇතුලට වැටෙනවා.... ඒ රතුපාට ටැබ්ලට් මැෂින් පෙට්ටියට මං තාම ආදරෙයි.....
ඊ ලඟට ඒ මැෂිම ලඟ තියන ලොකු බෙල් එකයි පොඩි බෙල් එකයි. සද්ද දෙකක්. මට හරි ප්‍රශ්නයක් ඇයි මේ සද්ද දෙකක් එන්න බෙල් දෙකක් මෙතන.....
පස්සෙනෙ දන්නෙ එකක් එක මැෂිමකට අනික අනිත් එකට. වෙන වෙනම අඳුනගන්න තමයි ටැබ්ලට් මැෂින් දෙකේ බෙල් දෙක සද්ද දෙකකින් තියන්නෙ....
ආ අමතක වෙනව තව පොඩ්ඩෙන් එතන තියනව හරි අපූරු දුරකථනයක්. උස කනුවක ගහල තියන්නෙ. කනේ තියාගන්න කොටස අතට ගන්නෝන. හිහ්. අපේ තාත්ත ඕකෙන් කාටද කතා කොරනව හැම තිස්සෙම.... නිතරම අර බෙල් එකක් වැදුනම. හිහ් හිහ්....

මං දෙක වසරෙදි, අපේ ස්කොලෙ සෙට් එකත් එක්ක ගියා කොහොමද කොච්චි දුවන්නෙ කියල බලන්න. අනේ උං හුග දෙනෙක් අඩු ගානෙ කොච්චියක් දැකලවත් නැතිලු. හහ් මම තමයි පොර එතන. මං උපන්දා ඉදල කොච්චි වල නෙ. පංතියෙ හිටපු කොල්ලොන්ට අර මැෂිමෙ වැඩ කිඩ ටික කියල දුන්නෙ මං.... දෙක වසරට එද්දි මං ඒ මැෂිමෙං වෙන්නෙ මොකද්ද කියන එක ගැන සෑහෙන අවබෝධයක් ලබල තිබුනෙ.... :D
ඒ කොටගල ස්ටේෂන් එකේ. තාත්ත එතන නෙවෙයි වැඩ කලේ. හබැයි වැඩකරපු අය දන්නව මං ගැන හිහ්....

පස්සෙ කාලෙක තාත්තා පොල්ගහවෙල වැඩ කලා. එහෙන් මරු ගැජමැටික් ටිකක් හම්බුනා බලාගන්න. පරන මෝස්කොඩ් සිස්ටම් එකේ කැලි බෑලි වගයක්....
මරදානෙ RTO එකෙත් වැඩකලා. ඒකෙනං ඇති වැඩක් නැ කියලයි මට හිතුනෙ... කෝච්චි පේන්නෙත් නෑ ලොකු තාප්පයක් ගහල. අර ටැබ්ලට් මැෂිනුත් නෑ... :(
ටෙලිපෝන් ටිකක් විතරයි. තාත්තා වැඩකල තැන් වලිං මං අකමැතිම එතනට... :D (අනිත් හැමතැනක්ම ස්ටේෂන්)

M6 783 සිංහ කට ලඟ
කඩුගන්නාව-බලන අතර

දැනුත් මං කෝච්චියට කැමති වෙන කිසිම වාහනේකට වඩා....