Friday, May 11, 2012

උබුන්ටු 12.4 මත සිංහල ස්ථාපනය (How to install sinhala on Ubuntu 12.4)


කාලෙකට පස්සෙ ඔන්න තාක්ෂණික ලිපියක් සමග ආව.

උබුන්ටු මත සිංහල ස්ථාපනය කර ගැනීම.  මේක සමාන්‍ය කාරණයක්. උබුන්ටු භාවිතා කරන හුගක් අය මේ ගැන දන්නවා. හැම උබුන්ටු සංස්කරණයකදිම වගේ අලුත්ම උබුන්ටු සංස්කරණය වන උබුන්ටු 12.4 සංස්කරණයෙදීත් සිංහල යුනිකේත පද්ධතිය සමගම ලැබෙනව. නමුත් උබුන්ටු මතදි යුනිකේත භාවිතයෙන් යතුරුලියනය සදහ iBus configure කරගන්න ඕන. සාමාන්‍ය විදියට අලුතින් භාෂාවක් එකතු කරගන්න බැලුවොත් චීන භාෂාව විතරක් එකතු කරගන්න පුලුවන් කියල දිස් වේවි. නමුත් අපිට සිංහලෙන් ලියන්න කියන්න නේ ඕනෙ. ඒක කරන්නෙ මෙහෙමයි.

පියවර 1:  root/superuser account එකට ලොග් වීම.

මේ පියවර වැදගත්. සාමාන්‍ය දන්න ක්‍රමේට, එහෙම නැත්තම්, වෙබ් අඩවි වලින් දීල තියන විදියට ටර්මිනල් කොඩ් එක දුන්න හැටිය මෙහෙම පෙන්වනව නේ.

එතකොට නම් ටිකක් තරහ යනව නේ.  ;)
තරහ ගන්න කාරි නෑ. ඒක කරන්නෙ මෙහෙමයි.




මුලින්ම root එකවුන්ට් එක ඇක්ටිව් කරගන්න.
ඒ සදහා sudo passwd root ලෙස ටර්මිනල් වින්ඩෝවෙ ටයිප් කරන්න. එවිට පහත පරිදි පයවර කීපයකින් root account එක ඇක්ටිව් කරගත හැක.





හරි ඒ කොටස සාර්ථකව නිමකරගත් ඔබ දැන් ටර්මිනලයෙන් root එකවුන්ට් එකට ලොග් විය යුතුයි. මේ සදහා su යන විධානය භාවිතා කරන්න. එවිට පහත ආකාරයට ඔබ root වෙත ලොග් වනු ඇත.






පියවර 2: ස්ථාපනය කිරීම
පළමු පියවර සාර්ථකව නිම කල ඔබට දැන් සාමාන්‍ය ආකාරයටම iBus සකසා ගත හැක.

  • As root/superuser, run:
    apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib 
    language-pack-si-base
  • From your user account (i.e. not root) run:
    rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s ibus
  • Logout and login again. Environment variables need to be set/updated (NO NEED TO REBOOT)
  • From your user account (i.e. not root) select your keyboard layouts by running:
    ibus-setup


ඉහත පියවර සම්පූර්න රීමෙන් පසු ibus preference වෙත ගොස් සිංහල භාෂාව input method එකක් ලෙස එකතු කරගන්න.













මෙසේ සිංහල භාෂාව එකතු කරීමෙන් පසු ctrl+space මගින් ඔබට භාෂාව මාරුකරගත හැක. අවශ්‍ය නම් ඒ යතුරු සබදතාවද මෙමගින් වෙනස් කරගත හැක.

එසේ නම් උබුන්ටු මත සිංහලේන් ලියන ඔබට ජය.....

Thursday, April 12, 2012

ගණිතය විරහ වුන මම.....


සංඛ්‍යාරේඛාවෙ සිට
ද්විමාන කාටිසියානු තලය හරහා
ත්‍රිමානය දක්වා පැමිණි 
නුඹෙත් මගේත් ආලයට
නව මානයක් සොයා යන්නට කාලය ඇවිත්.... 

අනන්තයේ අපිරිමිත රේඛා වල සිට
වර්ථමානයේ සමුද්දේශය හරහා
අනාගතයේ සාපේක්ෂතාව සොයා යන්නට
නොහැකි මන්දැයි ඇසු විට
පිළිතුර නුඹ තවම සෘජුකෝනාශ්‍රයක හිරවීම බව
පසක් වුනි මට.... මගේ නිරපේක්ෂ මනසට..... 

ද්විමාන තලයේන් 
ත්‍රමාණතලයට වැටි 
ගණිතය විරහ වුන මම.....

Saturday, April 7, 2012

මගේ කෝච්චි කතාව මෙහෙමයි.


අඟූරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා...
දැන් අය නං ඩීසල් විතරයි බොන්නෙ

මං ඉපදුනේ කොටගල. අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපති වරයෙක්. ඒ නිසා තාත්තා නිතර විවිධ දුම්රිය ස්ථාන වලට මාරුවීම් ලැබුනා. ඒ නිසා මං බොහෝවිට ගතකලෙත් දුම්රිය නිල නිවාස වලමයි. කොහොමිං කොහොම හරි මං යංතං දනිපනිගාල ඇවිදින කාලෙ ඉඳං ස්ටේසමට යන්න තියන්නෙ පුදුම ආසාවක්. බොහො විට තාත්තගෙ අතේ එල්ලිලා ස්ටේසමේ රවුම් ගහන එක මගේ පුරුද්ද. පොඩි කාලේ ඉඳංම බස්වල යන්න දැඩි ලෙස අප්‍රිය කරපු මම කොච්චියට නිතැනින්ම ආදරේ කලා.
තනිමාර්ගයේ දුම්රිය ධාවනයේදි භාවිතාවන සඥ්ඥා කුලුණක් 

තාත්තා බොහො කාලයක් සේවය කලේ උඩරට. තලවකැලේ, රොසැල්ල, හැටන්.... ඒ නිසාම මගෙත් ජීවිතේ සුන්දරම ළමාකාලේ සුන්දරම අත්දැකීම් එකතු වුනේ කෝච්චිත් එක්ක.

ඒ දවස් වල තාත්තා වැඩකරන වෙලේට මම ස්ටේෂන් එකේ හිටියොත්, හවස බඩුකෝච්චිය බැරිවෙලාවත් ෂන්ටින් කලොත් මට ඕනැ ඒ එන්ජිමෙ රවුමක් යන්න. හහ් හා... ඉතිං M6, W1, එන්ජින් පොඩිකාලෙ හරි හරියට එලෝල තියේ මං..... :P ඇංජිමේ ඩැයිවර් අංකල මට දෙනවා එයාගේ සීට් එක. මං පොඩි එකානේ.... ඒ නිසා වෙන්ටැති. මට තියන්නෙ අංකල් කියපුවාම හෝන් එක ගහන්න.... හරිම ජොලිවැඩේ ඒක...

ඊ ලඟට කැබින් එක. ස්ටේෂන් එක අවට තියන දුම්රිය සඥ්ඥා පද්ධතිය හසුරවන්නෙ එතනින්. ඒකට නං නිතර දෙවේලෙ යනවා. ඒකෙ තියන ඒව ඒ අංකල් කෝම අදිනවද මංද.... මට නං ඇදගන්න බෑ හරි තදයිනේ.... :P පොඩි එකා සන්ධියේ අඟේම වීරිය දාල ඇද්දත් කවදාවත් අඟලක්වත් ඒව හොල්ලගන්න බැරි වුනා... :D

මේ තියන්නෙ ටැබ්ලට් මැෂිමක්.
මේ ඉන්නෙ අපේ තාත්තා නං නෙමෙයි,
තාත්ත එක්ක හැටන් වල වැඩකරපු මාම කෙනෙක්.
පින්තූරෙ ගත්තෙ YY එකෙ සෙට් එකත් එක්ක කඩුගන්නාවෙ රේල් හයික් ගිහින්....

තවත් ෂෝක්ම වැඩේ තමයි තාත්ත ටැබ්ලට් එක අරං ආපුවාම උඩින් ටැබ්ලට් පෙත්ත මැෂිමට දාන වැඩේ.
ටැබ්ලට් මැෂිමේ යට තියන ලොකු ප්ලේට් එක ලොකු අයට අදින්නලු.උඩ තියන පොඩි එක තියන්නෙ මං වගේ පොඩි අයට සෙල්ලං කරන්න :P  හැබැයි. ටැබ්ලට් එක අරං ආපු වෙලේට විතරයි ඕකට දාල ඇතුලට තල්ලු කරන්න හම්බුවෙන්නෙ.... ෂා... පිංකැටේකට කාසියක් දැම්මවගේ නැවුම් හඬක් නංවමින් ටැබ්ලට් පෙත්ත ඇතුලට වැටෙනවා.... ඒ රතුපාට ටැබ්ලට් මැෂින් පෙට්ටියට මං තාම ආදරෙයි.....
ඊ ලඟට ඒ මැෂිම ලඟ තියන ලොකු බෙල් එකයි පොඩි බෙල් එකයි. සද්ද දෙකක්. මට හරි ප්‍රශ්නයක් ඇයි මේ සද්ද දෙකක් එන්න බෙල් දෙකක් මෙතන.....
පස්සෙනෙ දන්නෙ එකක් එක මැෂිමකට අනික අනිත් එකට. වෙන වෙනම අඳුනගන්න තමයි ටැබ්ලට් මැෂින් දෙකේ බෙල් දෙක සද්ද දෙකකින් තියන්නෙ....
ආ අමතක වෙනව තව පොඩ්ඩෙන් එතන තියනව හරි අපූරු දුරකථනයක්. උස කනුවක ගහල තියන්නෙ. කනේ තියාගන්න කොටස අතට ගන්නෝන. හිහ්. අපේ තාත්ත ඕකෙන් කාටද කතා කොරනව හැම තිස්සෙම.... නිතරම අර බෙල් එකක් වැදුනම. හිහ් හිහ්....

මං දෙක වසරෙදි, අපේ ස්කොලෙ සෙට් එකත් එක්ක ගියා කොහොමද කොච්චි දුවන්නෙ කියල බලන්න. අනේ උං හුග දෙනෙක් අඩු ගානෙ කොච්චියක් දැකලවත් නැතිලු. හහ් මම තමයි පොර එතන. මං උපන්දා ඉදල කොච්චි වල නෙ. පංතියෙ හිටපු කොල්ලොන්ට අර මැෂිමෙ වැඩ කිඩ ටික කියල දුන්නෙ මං.... දෙක වසරට එද්දි මං ඒ මැෂිමෙං වෙන්නෙ මොකද්ද කියන එක ගැන සෑහෙන අවබෝධයක් ලබල තිබුනෙ.... :D
ඒ කොටගල ස්ටේෂන් එකේ. තාත්ත එතන නෙවෙයි වැඩ කලේ. හබැයි වැඩකරපු අය දන්නව මං ගැන හිහ්....

පස්සෙ කාලෙක තාත්තා පොල්ගහවෙල වැඩ කලා. එහෙන් මරු ගැජමැටික් ටිකක් හම්බුනා බලාගන්න. පරන මෝස්කොඩ් සිස්ටම් එකේ කැලි බෑලි වගයක්....
මරදානෙ RTO එකෙත් වැඩකලා. ඒකෙනං ඇති වැඩක් නැ කියලයි මට හිතුනෙ... කෝච්චි පේන්නෙත් නෑ ලොකු තාප්පයක් ගහල. අර ටැබ්ලට් මැෂිනුත් නෑ... :(
ටෙලිපෝන් ටිකක් විතරයි. තාත්තා වැඩකල තැන් වලිං මං අකමැතිම එතනට... :D (අනිත් හැමතැනක්ම ස්ටේෂන්)

M6 783 සිංහ කට ලඟ
කඩුගන්නාව-බලන අතර

දැනුත් මං කෝච්චියට කැමති වෙන කිසිම වාහනේකට වඩා....

Thursday, February 17, 2011

අලගල්ල සොබා සුවිසැරිය

වැදගත්: අක්ෂරය සඳහා පොඩිමහතා විසින් සකසන ලද ලිපියේ උපුටනයකි. 



“බලන මොටන අලගල්ල පැනලා සුද්ද මෙහාට එනවා බොරු“
ඉස්සර මිනිස්සු කියල තියෙන්නෙ අන්න එහෙමයි... ඉතින් අපි (මා ඇතුලු යාළුවො හතර දෙනෙක්) ගියා මේ අලගල්ල කන්ද තරණය කරන්න. මේ තියෙන්නේ ඒ ගැන සටහනක්. 


අන්තර්ජාලයෙන් ඇවිදින්න පුලුවන් තැන් ගැන විස්තර හොයනකොට අහම්බෙන් හම්බුන තොරතුරක් තමයි මේ අලගල්ල. අලගල්ල කියන්නේ ඉස්සර සුද්ද මේ රට ආක්‍රමණය කරපු කාලේ උඩරට රාජධානියේ ආරක්ෂාවට තිබුනු මුර කපොල්ලක්. කෙ කඳු මුදුනට ගියාම ඒ බව නම් පැහැදිලි වෙනවා. හාත්පස සිසාර පේන සුන්දර දසුනින.

ගමන් විසතරය මෙහෙමයි.
අපි අලගල්ලට ලඟාවෙන් යොදාගත්තේ දුම්රිය. උදේ 5.20ට තිබුන දුම්රියෙන් මීරිගමින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ගිහින් පොල්ගහවෙල සිට පෙ.ව 6.00 නුවර බලා යන මනදගාමී දුම්රියෙන් ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානය දක්වා ගමන් කලා. ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානයට ලඟාවුනේ උදේ 7ට විතර. එතැන් සිට තියෙන්නෙ පයින් ගමනක්. අපිත් ඉතිං එතනින් එහාට යන පාරක් දැනං හිටියෙ නෑ. ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන තමා යන්න තියෙන්නේ.

හැම අවුරුද්දෙම පෙබරවාරි 4 වෙනිද නිදහස සමරන්න ගමේ මිනිස්සු මේ කඳූ මුදුනට යනවලු. හැබැයි මේ පාර නම් කට්ටිය ගිහිං නෑ. මොකද පේබරවාරි 4 වැස්සනේ. 




යන ගමන්
ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් ලද තොරතුරුවලට අනුව ඒ අසලින් අපි ගමන් ඇරඹුවේමු. ගම වෙත දිවෙන මග ඔස්සේ ඉදිරියට ගමන් කිරීම එතරම් අපහසුවක් නොවේ.

ඉතින් මේ විදියට ගමන්කරපු අපි, ගම මැද්දෙන් පාර සොයන් යන අතරේ තේ වතු මැදින් යන පාර ගේක මිදුලකින් ඉවර වුනා. දැං ඉතින් අයෙ හැරෙන්නයැ. අහල පහල සෝදිසි කරල බලද්දි, කන්ද පැත්තට යන පොඩි අඩිපාරක් හම්බුනා. අයේ දෙකක් නෑ, මේ පාර කට්ටිය ගියෙත් නැති නිසා කැලෑවුනු පාර වෙන්නැති කියල අපි ඒ පාරෙන් ගමන්කරන්න පටන් ගත්තා. බැලින්නං ඒ කැලේට යන්න තියෙන පොඩි අඩි පාරක්.. කන්ද නගින පාර නෙමෙ....හැබැයි අපිට ආපහු හැරෙන්න විදියකුත් නෑ. වෙන කරන්න දේකුත් නැති නිසා අපි කැලේ මැදින් කන්ද පැත්තට නගිනන් පටං ගත්තා. මේ පේනවනේ හසරක් නැති කැලෑව. 







පටන් ගත් තැන් සිට සතුරා කූඩැල්ලාය. මුන් නම් නිකම්ම නිකම් කූඩැල්ලන් නොව, මහ කුප්ප කූඩැල්ලන් ජාතියකි. පන්න පන්න පහර දෙනවාට අමතරව ඉහල සිටින සිය නෑ හිතමුතුරන්ටද පණිවුඩය දුන් සැටියකි.කෙසේ නමුත් කෑඩැල්ලත් සතෙක්ද

පාර සෙයාගනු වස් යන යන තැන ගස් කොල අතු නවන්නට නම් අමතක කලේ නෑ ( ඊලඟ පාර මේ පාරෙන යන අයට උඩට එන්න පුලුවං ඒ මග ඔස්සේ) 
කැලැව කපාගෙන කහඹිලිය ගාල් පීරගෙන කටු අතුවල ඇමීණිගෙන ගිය ඒ ගමන නම් අමතක නොවන අපූරු අත්දැකීම් රැසක් එක් කලා. අපි නියමිත මගින් ගමන් කලානම් ගමන මේ තරම් සුන්දර (අපේ වචනයෙන්ම් ආතල්) නොවෙන්න තිබුනා. දුෂ්කරතා මැඩගෙන ගියපු ගමන නිසාම අපේ යාළුවන්ටත් ගමන අපූරුවට අල්ලල ගියා (ගිය අය මේක දැක්කනං මාව කයි, එක්කන් ගියා කියල නම් මොකුත් තාම කිව්වෙ නෑ හිහ් ) 





ගමන දුෂ්කරයි, පොල්ලක් අතේ තියන් යන එක වඩා හොඳයි. හැබැයි සුන්දරයි. කැලෑව කියන්නෙ කොහොමත් බෝම සොඳුරු ඉසව්වක් නේ...









බහින එක නම් නගින කොට තරම්ම අමාරු නොවුනේ කඳූමුදුනට කිට්ටු වෙද්දි නියම පාර හමුවුනු නිසා.

මේ විදියට පාර හොයාගෙන කන්ද නැගපු අපිට, කදු මුදුන කිට්ටුවේ ගහක “මතු පරපුර උදෙසා තුරුලිය සුරකිමු“ ලෙස ලියු බෝඩ් එකක ගහල තියෙනව දැක්කම මාර සතුටක් දැනුනේ. මිනිස් පුලුටක් වත් අහල පහල නැති කැලේ බෝඩ් ගහල තියෙන්නේ පාරෙ වෙන මොකටද පාර සොයාගන්නත් ඕනි නිසානේ. 

අලගල්ල කන්ද නගින්න තියෙන නියම පාරෙන් කඳු මුදුනට යාම එතරම්ම අපහසු නෑ. අඩිපාරක් නමුත් දුෂ්කර බව අඩුයි. නමුත් කූඩැල්ලන් නම් එමටයි. 

ගමන පටන්ගනිත්දි වාරුවෙන්න පොල්ලක් සොයාගන්න එක හොඳයි. ඒ වගේම පාර හරියටම අසාගන්ත්තොතින් එතරම් අපහසු වෙන එකක් නෑ. 
ගමනට හැකිතරම් වතුර බෝතග් එකතු කරගන්න එක නම් හොඳයි, මොකද කැලේ පීරගෙන යද්දි නම් වතුර ගන්න තැනක් නෑ. ආහාර විදියට අපි නම් පාන් සහ බිස්කට් අරං ගියා. ඒ වගේ සැහැල්ලු ආහාර අරං යන එක හොඳයි කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. 

ආපහු එන්නත් අපි නම් දුම්රියම යොදාගත්ත. මහමාර්ගය භාවිතාකරන කෙනෙකුට මාවනැල්ලට ගිහිං එතනින් ඉහලකෝට්ටෙ වෙත එන්න ඕනි. ආපසුත් ඒ මගම ගන්න පුලුවන්. අලගල්ලට දුම්රියෙන් යාම වඩාත් පහසුයි. නමුත් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ නවත්වන දුම්රියන් ප්‍රමාණය සීමිත නිසා ඒ පිළිබඳව දුම්රිය ස්ථානයෙන් දැනුවත්වීම වැදගත්. (අපිටනම් පොඩිමැණිකේ දුම්රිය, දුම්රිය හුවමාරුවක් නිසා ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානයේ නවැත්වීම ආපසු ගමනට ලොකු පහසුවක් වුනා) 
ඉතින් ලංකාවෙ තවත් බලන්න නම් තැන් ඕනි තරම්. සොඳුරු ඉසව් කරා යන්න. ඒව නරඹන්න. හැබැයි ඡායාරූප සහ මතකය පමණක් රැගෙන එන්න. පියසටහන් විතරක් ඉතුරු කරල එන්න. 

“පරිසරය සුන්දරයි-රැකගැනුම යුතුකමයි“

Thursday, December 30, 2010

යාළුකමේ අගය....

Monday, November 29, 2010

බාගෙට පිරුන වතුර වීදුරුව


බලන්න පින්තූරය දිහා...
හොඳට බලන්න...
මොනවද ඔබට පේන්නේ???
වතුර වීදුරුවක්...
නිකම්ම නිකම් වතුර වීදුරුවක්ද???
නෑ...
එහෙනම්???
බාගයක් පිරුන වතුර වීදුරුක්...
ඇයි, බාගයක් හිස් වතුර වීදුරුවක් පේන්නෙ නැද්ද???
පේනව හැබැයි දකින්නේ නෑ...

ඇත්ත. ඒත් කෙනෙක් බාගෙට හිස් වතුර වීදුරුවක් දකින්න පුලුවන්. අපි දකින විදිය එකිනෙකාට වෙනස්. එකම දේ විවිධ විදියට දකිනවා. ඉතිං හිතන්න. අපි දකින විදියටම නෙමේ හැමෝම දකින්නේ. ඒකට ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. එහෙම නේද...

Friday, October 15, 2010

සක්වල සවාරිය - දොරට වැඩුම

පියාඹන පීරිසියළදරු වියෙහි කනවැකි සුන්දර අත්භූත වෘතාන්තයක් විය මට,
විදු නැණ සයුරු තෙර 
සිප්පිකටු අහුලන බිළිඳියක බව දනිතත්,
කුතුහලයෙහි මහා ගණදුර දුරලන්නට
අකුරු කළෙමි පිටු ගණනක්,
නමින් “සක්වල සවාරිය

පිපෙන්නට වෙරදරන කැකුළකට 
ඉසින්නට පැන් බිඳක් දොරට වඩින දා

දිනය: 2010-10-17
වෙලාව: ප.ව. 3.00
ස්ථානය: හොටෙල් වැරැල්ල වලව්ව, මීරිගම.

හංසනී විනෝද්‍යා
120/85, වැරැල්ලවත්ත,
ගිරිඋල්ල පාර,
මීරිගම.
0333728414

ප.ලි: මාගේ නැගණියගේ රචනයක්වන සක්වල සවාරිය දොරටවඩින දා උත්සවය පිළිඹඳ සිහි කැඳවීම පිණිසයි!!!